පාසල් භූමියකින් හමුවුණු බෝම්බයක්, පුපුරා යෑමට පෙර, කරේ තබා ගෙන, කිලෝ මීටරයක දුරක් දිව ගිය නිර්භීත පොලිස් නිලධාරියකු පිළිබඳ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුඩා ගම්මානයකින් වාර්තා වේ.
බොලිවුඞ් සිනමාපටයක වික්‍රමයක් බඳු මෙම වික්‍රමය සිදු කර ඇත්තේ 40 හැවිරිදි පොලිස් කොස්තාපල් අභිෂේක් පටෙල්ය.
සිද්ධිය වාර්තා වන්නේ පසුගිය සිකුරාදා (25) ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සගාර් දිස්ත්‍රික්කයේ චිටෝරා ගම්මානයෙනි.
චිටෝරා ගම්මානය පිහිටා ඇත්තේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ අගනුවර වන බෝපාල් සිට කිලෝ මීටර් 170 ක් දුරිනි. බෝම්බය හමුවී ඇත්තේ පාසල් ක්‍රීඩාංගනයෙනි. පාසලේ සිසු දරු දැරියන් ගණන 400 කි. පාසල් ක්‍රීඩා පිටිය නිවාස වලින් වට වී තිබේ. බෝම්බය දුටු සැණින් කලබලයට පත් වුණු ගුරුවරු හදිසි ඇමතුම් අංකය වන 100 අමතා පොලිසියට ඒ බව දැනුම් දුන්හ.
පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද සමඟ කොස්තාපල් අභිෂේක් පටෙල් වහා එහි පැමිණියේය. පොලිස් කණ්ඩායම බෝම්බය පරීක්ෂා කළ අවස්ථාවේදී එය පුපුරා යෑමේ අවදානමක් පවතින බව අවබෝධ විය. එය නිෂ්ක්‍රීය කිරීම ද කළ නොහැකි දෙයක් විය.
‘පාසල් ක්‍රීඩා පිටිය හැමතැනම ගෙවල්. ඒවායේ පදිංචිකරුවන් ඉන්නවා. පාසල දරුවන්ගෙන් පිරිබෙලා. බෝම්බය කොයි මොහොතේ හෝ පුපුරන්න පුළුවන්. බෝම්බය පිපිරුණොත් බොහෝ දෙනකුට අනතුරක් වෙන්න පුළුවන්. වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. පුපුරන්න කලින් මා බෝම්බය කරේ තියාගෙන දිව්වා’ යැයි අභිෂේක් පටෙල් පසුව මාධ්‍ය හමුවේ ජීවිතයත් මරණයත් අතර සිද්ධිය විස්තර කරමින් කියා සිටියේය.
කිලෝ ග්‍රෑම් 10 ක් බරින් යුක්ත වුණු එම බෝම්බය උරහිසේ තබාගත් පොලිස් කොස්තාපල් අභිෂේක් පටෙල් කිලෝ මීටරයක් පමණ දුරක් දිව ගියේ පාළු තැනක් සොයමිනි. ‘මට ඕනෑ වුණේ කාත් කවුරුවත් නැති තැනකට බෝම්බය අරන් යන්නයි. එවෙලේ මට මගේ ජීවිතේ ගැන සිතන්න වෙලාවක් තිබුණේ නැහැ’ යැයි ද අභිෂේක් පටෙල් කියා සිටී. බෝම්බය පුපුරා ගියේ නම් මීටර් 500 ක වට ප්‍රමාණයක් පුරා හානි සිදුවීමට ඉඩ තිබුණු බව පසුව වාර්තා විය.
පසුගිය 25 වැනිදා සිදුවුණු මෙම වික්‍රමය එන්.ඩී.ටීවී. පුවත් සේවය හරහා ප්‍රසිද්ධියට පත් කෙරුණි. ඒ, බෝම්බය කරමත තබා ගෙන කොස්තාපල් අභිෂේක් පටෙල් දිව යන දසුන් ද ප්‍රසිද්ධියට පත් කරමිණි. එම දසුන් රූගත කර ඇත්තේ ඡංගම දුරකතනවලිනි. දිවි පරදුවට තබා කළ එම නිර්භීත ක්‍රියාව වෙනුවෙන් කොස්තාපල් අභිෂේක් පටෙල් විශේෂ ඇගැයීමට ලක් වුණැයි ද වාර්තා වේ. අභිෂේක් පටෙල්ට ඉන්දීය රුපියල් 50,000 ක ත්‍යාගයක් ද පිරිනැමීමට කටයුතු කළ බව මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත රජය පසුව පැවැසීය.